Wednesday, September 24, 2014

නිධානයක් සොයාගන්න - අවසන් කොටස.


බොහොම දෙනෙක් මංතුමාට දොස් පවරලා තිබුනා මේ නිධානයක් සොයාගැනීම ගැන ලිපිය කොටස් දෙකකට කැඩුවා කියලා. ඒ උනත් මොනවා කොරන්නද අප්පා වැඩ රාජකාරි බහුලයි නොවැ. අනිත් කාරණාව තමයි මේ නිධන් තියෙන තැන ගැන ඔත්තු දුන්නා කියලා පොලොසියෙන් මංතුමා කුදලාගෙන යයිද දන්නේත් නැහැ. ඕනෑ කෙන්ගෙඩියක් උනාවේ කියලා ඔන්න එහෙනම් මේ කතාව අවසන් කොරලා දමන්න හිතුවා. එහෙනම් කලින් කොටස බලපු නැති ඇත්තෝ ඒ කොටසත් කියවලාම  අවොතින් තමා හොඳ. 


පසුගිය කොටස අවසන් කලේ නීතිඥයා විදපු ඊය පසුපස මේ කස්ටිය දුවන එකෙන්  නේද? හ්ම්ම් එහෙනම් දැන් බලමු කොහාටද මේ ඊය වැටුනේ කියලා.

ඔන්න ඉතින් කස්ටිය ඊය පසුපස දුවගෙන ගියා, කලින් සැරේට වඩා වැඩි දුරක් ගිය ඊය වැටුනේ ඒ රටේ හමුදාපතිට අයත් ඉඩමකට. කලින් වතාවෙ වගේ මේ අය සියලුම දෙනා මේ ඉඩම අයිතිකරු සතු බලතල ගැන නොසිතා ඊය වැටුන තැන හාරන්න පටන් ගත්තා. වැඩි වෙලාවක් යන්න කලින් විශාල වලක් සැරුවත් ඔවුන්ට හමුවූ නිධානයක් නම්  නැහැ. නිධානය වෙනුවට ඔවුන් හමුදා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ජෙනරාල් වරයා වෙත ඉදිරිපත් කළා. 

මේ ක්‍රියාව ගැන බොහෝ සෙයින් කෝපයට පත් ජෙනරාල් ඔවුන්ගෙන් නිදසහට කරුණු විමසා සිටියා. ඒ වෙලේ මේ සියලු දෙනාම තමන් වරදකරුවන් නොවන බව පවසමින්,  මහළු භික්ෂුන්වහන්සේ නිධානය ලබාගන්නා අයුරු ඔවුනට පැවසු ආකාරය පිලිබඳ පුර්ණ විස්තරයක් කියා සිටියා.


මේ කතාව අසාඋන් ජෙනරල්ගෙ  අදහස  වුයේ  මහළු භික්ෂුන්වහන්සේ බොරු නොකියන බවත් ,නිධානය ලබාගන්නා අයුරු ඔවුනට පැවසුවද, මෙම ඊතලය විදිනුලැබූ නීතිඥයා වෙත අවි ආයුධ පරිහරණය පිලිබඳ දැනීමක් නොමැති නිසා ඊය නියම ඉලක්කය කරා යොමු කිරීමට ඔහුට නොහැකි වූ බවයි.  එබැවින් දක්ෂ යුධ ශිල්පියකු වන තමා විසින්ම  පසු දින  භික්ෂුන්වහන්සේ පැවසු ආකාරයට ඊය විදින බවත් නිධානය සියලු දෙනා විසින්ම සමසේ බෙදාගත යුතු බවත්ය.  

 දැන් පසුදින ඉරපයා ඒමට පෙර මේ සියළු දෙනාම නැවතත් ගොවිමහතා සතු පැලට ගොඩ උනා. ජෙනරාල් වරයා ඉරපයා එනවිටම නියමාකාරයට ඉලක්කය ගෙන  හැකි උපරිම ශක්තිය යොදා ඊය විද්දා. විදුලි වේගයෙන් යන ඊය පසු පස මේ සැම දෙනාම දිවගියා......

මොකද කියන්නේ තව කොටසකට යමුද......?

හෝව්.. හෝව්.. කලබල වෙන්න එප..විහිළුවක් කලේ අද කොහොමහරි නිධානය සොයා ගමු.

මෙවර වඩා දුර ගිය ඊය වැටුනේ රාජමාලිගාව අසලම තිබුන රාජකීය උයනට. නිධානයට බොහෝ සෙයින් හිත ඇදී තිබුන නිසාම මෙය රාජකීය උයන බවත් මේ සියළු දෙනාට අමතක උනා. දැන් ඔවුන් එක්වී නිධානය ගොඩගැනීමට මෙතැන හාරන්න පටන්ගත්තා විතරයි, රාජකීය සෙබළුන් මේ සියලු දෙනාම තනතුරු නොබලා අත්අඩංගුවට ගෙන රජු ඉදිරියට පැමිණුවා.


දැන් මේ සැමදෙනාම රජු ඉදිරියේ තමන්ගේ නිදහසට කරුණු කියමින්, භික්ෂුන්වහන්සේ නිධානය සොයාගන්නා ආකාරය කියූ සැටිත් මේ නිධානය සොයාගැනීමට තමන් සියලු දෙනාම කටයුතු කල සැටිත්, ඒ වෙනුවෙන් රජතුමාගෙද අනුග්‍රහය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියා.

මේ රජතුමා බොහොම බුද්ධිමත් කෙනෙක්, ඒ නිසා වහාම රාජපුරුෂයන් යවා එම භික්ෂුන්වහන්සේ කැඳවා මේ පිලිබඳ සියලු තොරතුරු විමසා සිටියා. එසේ කරුණු විමසීමෙන් පසු මේ සියලු දෙනාටම යම් වැරදීමක් සිදුවී ඇතිබව රජු තේරුම් ගත්තා.

ඒ නිසා පසුදින මෙම සියලු දෙනාත්, භික්ෂුන්වහන්සේත් සමග රජතුමා ගොවිමහතා සතු පැලට ගොඩ උනා. දැන්  ඉරපයා ඒමට ආසන්නයි. රජතුමා දොරකඩ සිටගත්තා. දුනු හී අතට ගෙන, භික්ෂුන්වහන්සේ දෙසට හැරී නිවැරදිදැයි ඇසුවා. භික්ෂුන්වහන්සේත් නිවැරදි බව දැනුම් දුන්නා. දැන් ඉර පායා එන විට ඉර ඇති පැත්තට හැරී ඉලක්කය ගත්තා. එසේ ඉලක්කය ගෙන නැවතත් භික්ෂුන්වහන්සේ දෙසට හැරී නිවැරදිදැයි ඇසුවා. භික්ෂුන්වහන්සේත් නිවැරදි බව දැනුම් දුන්නා.

දැන් බොහොම වැරෙන් දුන්න ඇද ඊය විදීමට යනවිටම භික්ෂුන්වහන්සේ මෙලෙස පැවසුවා.

"නවත්වන්න, ඔබ වැරදියි..."

එවිට පුදුමට පත් රජතුමා...

"ස්වාමිනි ඔබවහන්සේ පැවසුවේ ඉර පායා එනවිට හිරු දෙසට මුහුනදා ඊතලය විදින ලෙස නේද? එසේනම් දැන් එය වැරදියි කියන්නේ ඇයි?"

"මහරජ,  මා පැවසුවේ  උදේ හිරු පායන විට දුන්නක් සහ ඊ තලයක් රැගෙන ඇවිත් මේ දොරකඩ සිටගෙන හිරු දෙසට මුනුන ලා  සිටගෙන, දුනුදිය ඇද ඊතලය මුදා  හරින ලෙසයි"

 කාරණය වැටහුන රජතුමා, ඊතලය විදින්නේ නැතිව අත්හැරියා. එවිට ඊතලය රජතුමාගේ දෙපාමුල වැටුනා.


එතැන සැරූ පසු මෙතක් කල් තමන්ගේ දෙපාමුල තිබුන නිධානය ඔවුන්ට සමුවුනා.


Tuesday, September 2, 2014

නිධානයක් සොයාගන්න....

සතුට, සැනසුම, ධනය මේවා සොයාගැනීම වෙනුවෙන් තමයි බොහෝ දෙනෙක් වෙහෙස වන්නේ.  ඒ වගේම නිධාන සොයා ගැනීමටත් බොහෝ අය වෙහෙස වෙනවා. මේ වෙනුවෙන් ඉතා වටිනා පුරාවස්තු, ජිවිත කොතරම් විනාශ කරනවද? නමුත් මේ සියලු දේ ඔබට ලබාගත් හැකි මගක් ලැබුනොත්? ... එහෙනම් මේ කතාවත් කියවලා බලන්න ඔබටත් මේ සියලු දේ ලබාගත හැකිද ? ඒ දේවල් තියෙන්නේ කොහෙද කියලා දැනගන්න හැකිවේවි.  මේ කතාවත් පුජනිය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් විසින් කියන ලද්දක්.

ඔන්න එකමත් එක කාලෙක පිටිසර බද ගම්මානයක ජිවත් උනා දුප්පත් ගොවි පවුලක්. මේ  ගොවියාට දවසක් දකින්න ලැබුනා පිණ්ඩපාතය ලබාගැනීම සඳහා මේ ගම වෙත පැමිණ සිටි මහළු භික්ෂුන්වහන්සේ නමක්. ඒ භික්ෂුන්වහන්සේ දුටු පමණින්ම පැහැදුන ගොවි මහතා දානය පූජාකර පසු දිනද දානය සඳහා ආරාධනා කළා. එමෙන්ම දින කීපයකින් පසු එළබෙන වස් සමය, තමන්ගේ ගොවිපලේ නවතින ලෙසද ආරාධනය කළා.



දැන් වස්කාලය ඇරඹුණා. මේ භික්ෂුන්වහන්සේ වෙනුවෙන් ගොවිපලේ සැකසුණ කුඩා පැලේ උන්වහන්සේ වස් කාලය ගත කරනවා. දැන් ඉතින් දිනපතාම මේ ගොවි පවුලේ උදවිය, මේ වස් සමාදන් වුන භික්ෂුන්වහන්සේ වෙත දාන-මාන පුජා කරනවා. උන්වහන්සේත් මේ ගොවි පවුලේ සියලු දෙනාටම බොහෝසෙයින් අර්ථයෙන් ධර්මයෙන් කරනා කියාදෙමින් වස් කාලය ගත කළා. වස් තුන්මාසය අවසන් වන විට මේ මහළු  භික්ෂුන්වහන්සේ සහ ගොවිපවුලේ සියලු දෙනා ඉතා හිතවත්ව සිටි නිසාම, වස් කාලය අවසානයේ උන්වහන්සේ පිටත්ව යෑම මේ ගොවි පවුලේ උදවියට බොහෝ දුකක් උනා. එබැවින් උන්වහන්සේ තවදුරටත් නවතවා ගැනීමට ඔවුන් උත්සාහ කලත් එය පලක් උනේ නැහැ. පසු දින තමන් මේ ගමෙන් පිටත් වන බව මේ භික්ෂුන්වහන්සේ දැනුම් දුන්නා.


පසුදින උදයේම පවුලේ සියලුම දෙනා මේ භික්ෂුන්වහන්සේ ට සමුදීම සඳහා මේ කුඩා පැල වෙත පැමිණි වෙලේ උන්වහන්සේ මෙලෙස කියා සිටියා.

"පසුගිය මාස තුන මුළුල්ලේම ඔබ සියලුම් දෙනා මා වෙනුවෙන්  බොහෝ  උපකාර කළා. එයට බොහොම පින්. ඔබලා බොහෝ දුප්පත් උදවිය. මම දැන් ඔබට කියා දෙනවා ඉතා වටිනා නිධානයක් ඇති තැනක් ගැන.  ඒ නිධානය සොයා ගැනීමට මා කියන ආකාරයට කටයුතු කරන්න. හෙට උදේ හිරු පායන විට දුන්නක් සහ ඊ තලයක් රැගෙන ඇවිත් මේ දොරකඩ සිටගෙන හිරු දෙසට මුනුන ලා  සිටගෙන, දුනුදිය ඇද ඊතලය මුදා හරින්න... එම ඊතලය වැටෙන තැන සැරු  විට ඔබට ඉතා විශාල නිධානයක් ලැබෙනු ඇති"

 මෙලෙස උපදෙස් දුන්  එම භික්ෂුන්වහන්සේ පිටත්ව ගියා.. තමන්ට ලැබෙන්නට නියමිත නිධානය ගැන බොහෝ සතුටට පත්වුන මේ උදවිය, පසුදින හිරුපයා  එනවිට එතැනට පැමිණ ඒ කියූ ලෙසටම හිරු දෙසට මුහුණ ලා  හැකි පමණ ශක්තිය යොදාගෙන ර්තලය විද්දා. දැන් මේ පවුලේ සියලුම දෙනා මේ ඊතලය පසුපස දිවගියා. බොහෝ දුරගිය ඊතලය වැටුනේ අසල්වැසි නීතිඥයකු සතු ඉඩමකට.  දැන් මොකද කරන්නේ? නිධානය ලබාගන්නත් ඕන, නමුත් මේ ඊතලය වැටුනේ වෙනත් කෙනෙකුගේ ඉඩමකට ඕන දෙයක් උනාවේ කියා හිතාගෙන මේ උදවිය මෙතැන හාරන්න පටන් ගත්තා................ කොතරම් ගැඹුරට මේ වල සැරුවත් ඔවුනට හමු වූ නිධානයක් නම් නැහැ.  නිධානය වෙනුවට ඔවුනට මුහුණදීමට සිදුවුනේ විශාල ප්‍රශ්නයකට. එනම් ... ඉඩම් හිමි නීතිඥයා එතැනට පැමිණීමයි.

මේ සිදුවීම බව දුටු නීතිඥයා දීර්ඝ දේශනයක් පවත්වමින්, නිතිය අනුව ඔවුන් වරදකරුවන් බව දක්වමින්, මේ සියලු දෙනාම අධිකරණය ඉදිරියට පමුණවන බවට තර්ජනය කර සිටියා.  ඒ වෙලේ මේ සියලු දෙනාම තමන් වරදකරුවන් නොවන බව පවසමින්,  මහළු භික්ෂුන්වහන්සේ නිධානය ලබාගන්නා අයුරු ඔවුනට පැවසු ආකාරය පිලිබඳ පුර්ණ විස්තරයක් කියා සිටියා.


මේ කතාව අසාඋන් නීතිඥයාගෙ අදහස  වුයේ  මහළු භික්ෂුන්වහන්සේ නිධානය ලබාගන්නා අයුරු ඔවුනට පැවසුවද, මෙම ඊතලය විදිනුලැබූ ගොවියා එතරම් ශක්තිමත් අයකු නොවූ බැවින් එම ඊය  ප්‍රමාණවත් තරම් දුර නොගිය බවයි. එබැවින් මෙම නීතිඥයා ගොවියා සමග හවුල් ගිවිසුමකට එළඹියා ... එයින් කියවුනේ වඩා ශක්තිමත් කෙනෙකු වන නීතිඥයා විසින් පසුදින මහළු භික්ෂුන්වහන්සේ කියූ ආකාරයට ඊය  විදීමටත්, එම ඊතලය වැටුන තැන සාරා නිධානය ගොඩගෙන සමාන කොටස් දෙකකට දෙපාර්ශවය විසින් බෙදාගන්නා ලෙසත්ය.

 දැන් පසුදින ඉරපයා ඒමට පෙර මේ සියළු දෙනාම නැවතත් ගොවිමහතා සතු පැලට ගොඩ උනා. නීතිඥයා ඉරපයා එනවිටම  හැකි උපරිම ශක්තිය යොදා ඊය විද්දා. විදුලි වේගයෙන් යන ඊය පසු පස මේ සැම දෙනාම දිවගියා......


ඉතිරි කොටස මීළඟ පොස්ටුවෙන්........ 



  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...